ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මහනුවර ජනපති මැදුරේදී අද (15) පැවැති මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවයේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය අප්‍රෙල් මස 21 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවත් අයහපත් මෙන්ම පහත් දේශපාලන සංස්කෘතියක් රටේ ක්‍රියාත්මක වන බවත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයින් කළ වගකීම් විරහිත ප්‍රකාශ හා ඊට සම්බන්ධ පිරිස් පෞද්ගලික හා දේශපාලන වාසි සඳහා කරනු ලබන අවිනීති විවේචන රටට අහිතකර ලෙස බලපාන බවත් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණි ජනතාව තරමක් අඩු වීමට එය හේතුවූ බව ද ජනපතිවරයා පැවසුවේය.
පෙරහරේ ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මාස තුනකට ඉහත සිට සැළසුම් සකස් කළ බවත් දේශපාලන න්‍යාය පත්‍ර මෙන්ම දේශපාලන කුහකකම් හකුළුවා ගෙන රට වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉෂ්ඨ කිරීම ඉතා වැදගත් බවත් එලෙස සැවොම කටයුතු කළේ නම් වෙනදා මෙන් අති විශාල ජනතාවක් පෙරහර නැරඹීමට පැමිණෙනු ඇති බව ද ජනපතිවරයා එහිදි සඳහන් කළේය.
දළදා පෙරහරේ කෙරෙන සම්ප්‍රදායික කටයුතු නිසි ලෙසත් විධිමත්වත් සැළසුම් සහගතවත් ඉෂ්ඨ කිරීමට රජය දිය හැකි සියලු සහයෝගය නොඅඩුව ලබා දෙන බවත් සෑම රජයකම වගකීම හා යුතුකම එය බවත් කී ඒ මහතා වර්තමාන රජය ඒ ආකාරයෙන්ම එම කටයුතු නිසි ලෙස ඉටු කර තිබෙන බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල,සතර මහ දේවාල බස්නායක නිළම්වරු, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල,මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, මහනුවර පුරපති කේසර සේනානායක,ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.
Discussion about this post