දැන් පවතින ගෑස් හිඟය නිසා ගෙවල්වල පැත්තකට දමා තිබූ උපකරණයක් දූවිලි ගසා දමා, මකුළු දැල් කඩා නැවත සර්විස් කොට භාවිතයට ගන්නට බොහෝ දෙනාට සිදුවිය. ඒ මෙතෙක් කලක් කුස්සියේ පැත්තට දමා තිබූ භූමිතෙල් ළිපය. අලුත් තාලේ ගෙවල් හැදූ ඇතැමුන් තැනුවේ ෆැන්ටසි කුස්සියකි. එහි පූජනීයත්වයෙන් සලකන ලද්දේ ගෑස් ළිප හෝ විදුලි ළිප නොහොත් හොට් ප්ලේට් එකය. භූමිතෙල් ළිප ලංකාවේ ගෑස් ආක්‍රමණයත් සමග ජනතාවගෙන් දුරස් වීමට ප්‍රධාන හේතුවක් වූයේ භූමිතෙල් නොහොත් ලාම්පු තෙල් කුකර්වල හදන කෑමවල භූමිතෙල් රහක් එනවා යැයි පොදු ජනතාව අතර ඇතිවූ කුප්‍රකට මතයට හේතුවාසනා වන්නටය.
එහෙත් අවසානයේ ගෑස් හිඟය නිසා අනාථ වූ ජනතාව, සනාථ කරන්නට ආවේ ‘භූමිතෙල්’ ළිපය. ෆැන්ටසි කුස්සියේ දුම්මැස්සත් දර ළිපත් අභාවයට ගිය නිසා අඩු ඉඩකඩක ලේසියෙන් ඉවුම් පිහුම් කරගන්නට බොහෝ දෙනා අලුතින් භූමිතෙල් ළිප් පවා ගන්නට පෙලඹුණේ මේ නිසාය.
අලුතින් ගෙයක් ඩිසයින් කරන විට වඩා හොඳ සාලයක් නිර්මාණය කළත් බොහෝ සමීප මිතුරන් කතාබස් කරන්නට තෝරාගන්නේ කුස්සිය නොහොත් ‘කිචන්’ එකය. කුස්සියේ ලූනු ගෙඩියක් සුද්ද කරමින් බිම තියෙන ජින්ජි බරස් හිරමණයේ පොල් ටිකක් ගාමින් කතා කරන ඕපාදූප ටිකේ රස භූමිතෙල් ළිපේ එදා ඉදුණ බල කරෝල හොද්දටත් වඩා රස විය යුතුය.
කුස්සිය මෙරට වැදගත් රාජ්‍ය තීන්දු ගත් ස්ථානයකි. චන්ද්‍රිකා මැඩම්ගේ කැබිනට් එක ‘කිචන් කැබිනට්’ එක ලෙස හැඳින්වූයේ මේ නිසාය.
ලංකාවට භූමිතෙල් ළිප් එන්නට පෙර කාලයේ අද මෙන් වැහි කාලවල එළියේ කුස්සියේ බිත්තියට හේත්තු කළ දර සුලබ දසුනක් විය. භූමිතෙල් කුකර් එකල නාගරික ජීවිතේ සමාජ තත්ත්වය පෙන්වන මෙවලමක්ද විය. විදුලි බලයෙන් ක්‍රියාත්මක හොට් ප්ලේට්ද කලක් මෙරට ගෘහණියන්ගේ ආහාර පිසින ප්‍රධාන උපකරණයක් විය. එහෙත් ලෝකයේ තමන්ට බිස්නස් එපා යැයි දැන්වීම් පළ කරන එකම ආයතනය වන ලංකා විදුලිබල මණ්ඩලය පළ කළ දැන්වීමක් නිසා හොට් ප්ලේට් හා හීටර්වලට කණකොකා හඬන්නට විය.
විදුලිබල මණ්ඩලය පළ කළ දැන්වීමෙන් කියැවුණේ හොට් ප්ලේට්වලින් ආහාර පිසීම හා හීටර්වලින් වතුර රත් කිරීම සල්ලි කාබාසිනියා කරන අධික වියදම් සහිත කටයුත්තක් බවය. මේ නිසා හොට් ප්ලේට් හා හීටර් මුළුතැන්ගෙයින් අභාවයට ගියත් ඉඳහිට හෝ භාවිතයට බොහෝ ගෙවල්වල භූමිතෙල් කුකර් එක පැත්තකට දමා තිබුණේ විනෝදයට මෙනි.
‘‘අපේ ආච්චිගෙ කොට හිරමණේ – ජින්ජි බරස් බරස් බරස්…’’
ජින්ජි බරස් බරස් බරස්… කියමින් පොල් ගෑ, ඉඳගෙන පොල් ගාන හිරමන අභාවයට ගියේ මේසයටම සවි කරන අතින් කරකවන හිරමනවල ආගමනයත් සමගය. දැන් අතින් ගාන හිරමණයද ඉලෙක්ට්‍රික් වී මොඩිෆයි වූ නමුත් අපේ පොදු ජනතාව භූමිතෙල් ළිප සමග තිබුණ සබඳතාව මුළුමනින් අත්හැරියේ නැත. මේ අතරින් වතුකරයේ ජනතාව තවමත් සියයට හැත්තෑ පහකට වඩා භාවිත කරන්නේ භූමිතෙල් ළිපය. ලංකාවේ වැඩිම භූමිතෙල් පරිභෝජනය කරන කප් එක ගසා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. දැන් දැන් භූමිතෙල් කුකර්වලට දැමීමට වඩා භාවිත වන්නේ බස් රථවලට ඩීසල් වෙනුවට භූමිතල් ගැසීමටය.
යාපනේ ට්‍රාන්ස්පෝට්, අනුරාධපුර ට්‍රාන්ස්පෝට්, කල්මුණේ ට්‍රාන්ස්පෝට් ආදී ලෙස ලංකාව පුරාම බඩු ගෙන යන ට්‍රාන්ස්පෝට් සර්විස් පිටකොටුවේ දැකගත හැකිය. මේ හැම කඩයකම ගොඩ ගසා තිබූ එක් විශේෂ දෙයක් වූයේ භූමිතෙල් කුකර්ය. ට්‍රාන්ස්පෝට් හිමියකු ප්‍රකාශ කළේ දැන් දින කීපයක සිට තමන් ප්‍රවාහනය කරන භාණ්ඩ අතර භූමිතෙල් කුකර් ප්‍රමාණය කෙමෙන් වැඩිවන බවය.
බොරැල්ල, මරදාන, නැත්නම් නුගේගොඩ රුපියල් හත් අටසීයට විකිණෙන කුඩාම භූමිතෙල් කුකරයක තොග මිල රුපියල් 430/-කි. එතැන් පටන් විවිධ මාදිලියේ කුකර් රුපියල් 15,000ට පවා ඇත. සුදු යකඩ කුකර් මිලෙන් අධිකය. භූමිතෙල් ළිපෙන් උයන විට ඇළුමිනියම් භාජනවල කළු දුම බැඳීම දැන් කුකර්වල සිදු නොවේ. ඒ සඳහා පැට්‍රෝල්මැක්ස් එකේ මෙන් හුළං ගසා නිල් දැල්ල ගතහැකි භූමිතෙල් කුකර් දැන් වෙළෙඳපොළේ ඇත.
මෑතක් වනතුරු ලංකාවේ භූමිතෙල් කුකර් මාකට් එක අල්ලාගෙන සිටියේ ඉන්දියාවය. නමුත් දැන් එම වෙළෙඳපොළ චීනය විසින් අමානුෂික ලෙස ආක්‍රමණය කරමින් සිටී. මේ නිසා ඉන්දියන් භූමිතෙල් කුකර් ආනයනකරුවන්ට භූමිතෙල් ගැසූ ගැරඬියන් මෙන් පසුබැස යෑමට සිදුවී තිබේ.
ගැනුම්කරුවන් බොහොමයකගේ අදහස්වලින් පෙනී ගියේ නැවතත් මෙරට මුළුතැන්ගෙවල්වලට භූමිතෙල් කුකර් එක ආගමනය වී ඇති බවත් ගෑස් හිඟයක් නැවත ඇතිවුවත් බය නැතුව උයන්නට ස්ටෑන්ඩ්බයි තියාගන්නට දැන් ඉතින් භූමිතෙල් කුකර් එකක්ද මුළුතැන්ගෙට අලුතෙන් එක්වූ බවය.
Discussion about this post