හුදී ජනතාවට ගෑස් පෙන්වන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩුකරන්නට පොරොන්දු වී පාර්ලිමේන්තු යන ඇමැතිවරුය. දැන් මේ මැතිවරණ කාලයක් නිසා ඇමැතිවරුන්ගේ ගෑස් නැත. බැහැලාය. ඔවුහු මහ මග හුදී ජනතාව සමග මැරෙන්නට සූදානම්ය.
එහෙත් දැන් එහෙම ජනතාව සමග පාරේ මැරුණත් ජීවතුන් අතර ඉන්නාවුන්ට මාර ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදු වන්නේය. ඒ දැන් මැරෙන මිනිසුන් පුච්චන්නටත් ගෑස් හිඟ වෙමින් තිබෙන නිසාය.
පසුගියදා අත්තනගල්ල ප්‍රාදේශීය සභාව ඌරාපොළ ආදාහනාගාරයේ මිනී පිළිස්සීම නතර කරන්නට යෝජනාවක් ගෙනාවේය. එසේ යෝජනාවක් ගෙන එන්නට හේතුව මිනී පුච්චන්නට ගෑස් හිඟ වීමය.
ගෑස් හිඟයක් තිබෙනවා යැයි කී විට ගෙදර ළිප ගැන පමණක් මතක් වන රටට මේ යෝජනාව අලුත් අත්දැකීමකි. කන බොන එක ගැන මිස මැරෙන එක ගැන කවුරුත් සිතා නොසිටි නිසාය.
එපමණක් නොව ගෑස් හිඟය මිනිසා මරණයට දක්කාගෙන යන්නට වුව හේතුවන බව දැනෙන කාරණා දැන් මතුව ඇත්තේය.
ගෑස් හිඟවීමත් සමගම මුලින්ම බඩේ පාර වැදුණේ පුංචි පහේ හෝටල්වලටය.
වෙරළේ වඩේ බදින්නාගේ සිට ගමේ ජංගම කෙටි ආහාර නිෂ්පාදකයා දක්වා ගෑස් ප්‍රයෝජනයට ගන්නේය. නොසිතු මොහොතක සිදු වූ ගෑස් හිඟය නිසා ඒ හැම දෙනාගේම ජීවන වෘත්තියට කණකොකා හඬා ඇත. .
පසුගිය ඔක්තෝබරයේ සෞදි තෙල් ටැංකි කීපයකට ත්‍රස්තවාදී ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූයේය. ඒ ප්‍රහාරයත් සමගම ගෑස් නිෂ්පාදනයේ දැවැන්ත බිඳවැටීමක් එරට සිදු විය. ගෑස් නිෂ්පාදනය අඩුවීමත් සමග සෞදිය කළේ ගෑස් අපනයනය සියයට හතළිහකින් පහත දැමීමය. ඒ නිසා වුවමනා ගෑස් නැව් ලංකා වරායට නිසි පරිදි නොපැමිණි අතර ගෑස් බෙදා හැරීමද නතර විණි.
ගෑස් හිඟ වෙන්නේ සෞදියේ ප්‍රශ්නයක් නිසා නොව ගෑස් කොම්පැනිවල ප්‍රශ්නයක් නිසා බව, ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාගේ අදහසය.
“පසුගිය සැප්තැම්බර් මාසයේ ජීවන වියදම් කමිටුව රුපියල් දෙසිය හතළිස් එකකින් ගෑස් වැඩි කළා. ඒත් ඒ මිල අඩු කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් කළේ ඔක්තෝබර් මාසයේ. ගෑස් මිල අඩු කළොත් ඕන තරම් ගෑස් ගන්න තිබෙනවා. ගෑස් මිල අඩු වුණොත් රෑ සිටම ගෑස් හොයාගන්න බැරිවෙනවා. මේ වන විට පෞද්ගලික සමාගම් වෙළෙඳපොළට ගෑස් මුදාහැරීම අඩුකරලා තිබෙනවා.
දැන් බිත්තර තම්බන්නේ හීටර් ගහලා. උයන්නේ විදුලියෙන්. මේ දවස් ටිකට විශාල විදුලි පරිභෝජනයක් කළා. මේ විදියට ගෑස් හිඟය තිබුණොත් සඳුදා සිට ආපනශාලා වසන්න වෙනවා. මේ ගෑස් නැව නාවොත් මුහුණ දෙන්නට වෙන අර්බුදය.
මේ රටේ වැඩිපුරම ගෑස්වලින් උයා කන්නේ බස්නාහිරය. රටේම ගෑස් පරිභෝජනයෙන් දෙකෙන් පංගුවකට වඩා 56.5% ක් ගෑස් තිබෙන්නේ මේ පළාතේය.
මෙරට අඩුවෙන්ම ගැස්වලින් උයන්නේ ඌවේය. සුද්දන්ටත් 1818 කැරැල්ලේ දී ගෑස් පෙන්නූ ඌව වැසියෝ ගෑස් පරිභෝජනය කරන්නේ 9.5% කි. මේ සියල්ල අස්සේ විකල්ප බලශක්තිය සොයන්නට උපදෙස් ලැබෙයි. නුවරඑළියේ බල්ලන්ට ගෝනි මතක් වෙන්නේ වැස්සටය මෙන් අපටද විකල්ප මතක් වෙන්නේ බොක්කට වැදුනාමය. තවත් විදියකින් කීවොත් ගෑස් නැතිව බත උයාගන්නට බැරිව බඩගිනි නැගුණාමය. එහෙත් එකල්හිද ගෑස් ප්‍රශ්නයක් පැන නගින්නේය. ඒ බඩගින්නේ ඉන්නා විට ගෑස් ලෙඩේ හෙවත් ගැස්ට්‍රයිටිස් හැදෙන නිසාය. ඒ අනුව දැන් අපට ගෑස්වලින් ගැලවිල්ලක් නැති බව තේරුම්ගත යුතුය.
Discussion about this post