2019 ජනාධිපතිවරණය, මීට පෙර පැවති අන් හැම මැතිවරණයකට ම වඩා, රටේ කතෝලික සමාජය තුළ ද විවිධ මතිමතාන්තර හා සිද්ධීන් හටගන්වමින් තිබේ.
ජනාධිපතිවරණය නිමවෙනතුරු, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි, දේශපාලන කතා පැවැත්වීමෙන් වැළකී සිටින්නට තීන්දු කර තිබේ.
එතුමා එම තීරණය හෙළි කළේ, මීගමුව, මහවීදිය ශා: මරියා දෙව්මැදුරු බිමේ ඔක්තෝබර් 19 දා පැවති, මෙරට ප්‍රථම කාදිනල් තෝමස් කුරේ හිමි අනුස්මරණ උත්සවයේ දී ය.
ඊට පෙර ද කාදිනල් හිමි සිය තවත් තීරණයක් හෙළිකර තිබුණි. තමා කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයකුට මුණගැසීම් ලබා නොදෙන බවටය. හේතුව, අප්‍රේල් 21 සිද්ධිය අලලා, දේශපාලකයන් හරි හැටි ක්‍රියා නොකිරීම පිළිබඳ එතුමාගේ විරෝධය පළකරන්නටය.
මැල්කම් කාදිනල් රංජිත් හිමි එසේ තීරණය කර සිටිය ද, මේ වන විට මෙරට වෙනත් කතෝලික රදගුරුවරු දෙදෙනකු ජනාධිපති අපේක්ෂකයකුට මුණගැසීම් දී තිබේ. කඳුරට රදගුරු වියානි ප්‍රනාන්දු හිමි හා මුතුපුර රදගුරු, වැලන්ස් මෙන්දිස් හිමිවරුය.
අප්‍රේල් 21 සිද්ධියෙන් විනාශ වූ කටුවපිටිය හා කොළඹ කොච්චිකඩේ දේවස්ථාන යළි හනික ගොඩනගා දෙන්නට නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස දැරූ වෑයමට මැල්කම් කාදිනල් රංජිත් හිමි කීපවරක්ම ප්‍රසිද්ධියේ ස්තුති කළේය.
කිතුනු ඇමති ජෝන් අමරතුංග පසුගිය කාලය තුළ මෙරට කතෝලික සමාජයට මහ මෙහෙවරක් කළ බව ඇතුගල්පුර, හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමි 2019.08.11. ‘ඥානාර්ථ ප්‍රදීපයට’ පවසා තිබිණි.
පාස්කු ඉරිදා සිද්ධිය සොයා බලා, වගකිවයුත්තන් හෙළිකර දඬුවම් පමුණුවන්නට, ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල කොමිසමත් පාර්ලිමේන්තුව පත්කළ විශේෂ තේරීම් කාරක සභාවත් ගැන තමාගේ කිසිදු විශ්වාසයක් නැතැයි කී කාදිනල් හිමි, නව කොමිසමක් පත්කර ඒ පිළිබඳ ඇත්ත නැත්ත වහා හෙළි කරන ලෙස ජනාධිපති හා අගමැති දෙපළගෙන් මෑතක ඉල්ලා සිටියේය.
දෙදෙනාට තවමත් ඒ ඉල්ලීම ඇසී නැත.
ගෝඨාභය රාජපක්ෂ , ඒ කාදිනල් ඉල්ලීමට වහා ප්‍රතිචාර දැක්වීය.
තමා ජනපතිවරණයෙන් ජය ගෙන දින දෙක තුනක් ඇතුළත කාදිනල්තුමාගේ ඉල්ලීම ඉටු කරමින් අප්‍රේල් 21 සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලා රටට වාර්තා කිරීමට කොමිසමක් පත්කරන බව පවසමිනි.
කාදිනල් හිමි අප්‍රේල් 21 දා සිට ම පවසන්නේ එදින සිද්ධිය, මෙරට මුස්ලිම්වරුන් කළ දෙයක් නොව, ඉස්ලාම් ත්‍රස්තවාදීන් කළ අපරාධයක් බවය.
ජනාධිපතිවරණයට පෙර තමන්ට, සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මුණගස්වා දෙන ලෙස, කොළඹ කතෝලික පූජකවරු පසුගිය ඔක්තෝබර් හත්වෙනිදා පැවති කොළඹ කතෝලික පූජක සංගම් තෙමස් රැස්වීමේ දී කාදිනල් හිමිගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර ඇත.
මුහුණ දී සිටින විපත්තීන්ගෙන් රට ගලවා ගන්නට ජනපති අපේක්ෂකයන් කරන්නට බලාපොරොත්තුවන දෑ තමන්ට දැන ගන්නටත් තමන් යෝජනා කරන දෑ ඔවුනට දන්වා සිටින්නටත්ය. කාදිනල් හිමි ඒ පූජක යෝජනාවට එකඟව නැත.
ඒ ආගමික අලකලංචි මැද මෙරට කතෝලික සමාජයත් අද සිටින්නේ තමන් එක් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරණයේ දී ජන්දය දිය යුත්තේ කාටදැයි දහ අතේ කල්පනා කරමිනි.
කොළඹ එක් ජ්‍යෙෂ්ඨ පූජකවරයකු පැවසුවේ ජනතාවට හිතකර යෝග්‍යම අපේක්ෂකයාට සිය ඡන්දය සලකුණු කරන්නට ජන මනස සකසන සේ තමා මේ දිනවල දෙවියන් වහන්සේට දිනපතා කන්නලව් කරමින් සිටින බවය. අප අදහන දෙවියන්ට ‘කළ නො හැකි දෙයක් නැත’ යන බයිබලීය සඳහන ද එතුමා සිහිපත් කර දුන්නේය.
විවිධ දේශපාලන මතිමතාන්තර අතරින් තමන් කැමති මතයක් තෝරා ගැනීමට කිතුනුවන්ට නීත්‍යනුකූල අයිතියක් ඇත. රට රටවල බහුවිධ දේශපාලන පක්ෂ ඇත. ඒවා අතරින් තමන් කැමති පක්ෂය සමග සිය රටවල ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදීමට කිතුනුවාට අවසර ඇත.
දේශපාලන ක්‍රියාමාර්ග මගින් සිය රටවල මිනිස් නිර්මලත්වයට පහර වදිද්දී, ඒ දේශපාලකයනට හා ක්‍රියාමාර්ගවලට එරෙහිව කිතුනුවන් සාමූහිකව පෙරමුණ ගත යුතුය.
තම රටවල ගැටලු නිරාකරණය සඳහා, කිතුනුවන් තමන් කැමති පක්ෂ හා එක්ව ක්‍රියාකරද්දී, කතෝලික සභාව ඔවුන්ට එරෙහිව තහංචි දමන්නේ නැත.
දේශපාලනයේ යෙදෙන්නන් අතර (විශේෂයෙන් කතෝලිකයන් අතර) ආධ්‍යාත්මික හා ලෞකික ලෙස ජීවිත දෙකක් නොතිබිය යුතුය. තම හෘදය සාක්ෂියට අනුව ජීවත් වෙමින්, මැතිවරණ බඳු අවස්ථාවල, ලෝකයේ කිතුනුවන් සිය රටවල සාධාරණ සමාජ ඇති කර ගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස, වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරා ගැනීමට මග පෙන්වන නිර්ණායක කීපයක්, එම රදගුරු මණ්ඩල ප්‍රකාශනයේ සඳහන් වේ. එසේ ම ජය ගන්නා තැනැත්තා රට වෙනුවෙන් කළ යුතු ප්‍රධාන කාරණා අටක් ද එහි සඳහන් කර තිබේ.
බලයට පත්වන ඊළඟ ජනපති පහත සඳහන් ක්‍රියාමාර්ග කල් නොයවා ගත යුතු බව රදගුරු කොමිසම සිය ලේඛනයේ පළමුවෙන්ම සටහන් කර තිබේ.
1. වාර්ගික හා ආගමික ගැටුම්වලට හේතු විය හැකි ප්‍රශ්න නිරාකරණයට සැලැස්මක් සකසා ක්‍රියාත්මක කිරීම.
2. සියලු රටවැසියන්ගේ අපේක්ෂා ඉටුවන සේ, බලය බෙදාහැරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම.
3. විෂ මත්ද්‍රව්‍ය, අන්තරායකර ඖෂධ, පාතාලය හා අහිතකර මාධ්‍ය සංස්කෘතිය මුලිනුපුටා දැමෙන විශේෂ කාර්ය බළකායක් පිහිටුවීම.
4. අධිකව ණය ලබා නොගන්නා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකසා ක්‍රියාවට නැගීම.
5. සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන අධීක්ෂණය සඳහා ස්ථාවර ආයතනයක් පිහිටුවීම.
6. යුක්තිය ඉටුවෙනු විනිවිදව පෙනෙන ස්වාධීන අධිකරණයක් පිහිටුවීම.
7. ගොවි, ධීවර හා වතුකර ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න ගෞරවනීයව විසඳනුවස් ජාතික ප්‍රතිපත්තියක් සකසා ක්‍රියාත්මක කිරීම.
8. මිනිස් ජාවාරම් හා අඩු වයස් ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ වංචනික පරිසර දුරු කිරීමට පියවර ගැනීම.
ජනතාව ඊළඟට පත් කර ගන්නා ජනපති පහත සඳහන් චරිත ලක්ෂණ ඇත්තෙක් විය යුතු බව, රදගුරු කොමිසම පවසයි.
ජනාධිපති ධුරයට පත්වන්නා, සිය පොරොන්දු අනුව වගකීම් ඉටුකරනවා ද යන්න අධීක්ෂණය කිරීමට සුදුසු ජනතා යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බව කතෝලික රදගුරු සම්මේලනයේ යුක්ති සාම කොමිසම රටට යෝජනා කර සිටී.
රටේ දැවෙන ජාතික ප්‍රශ්න විසඳන්නට අපේක්ෂකයන් ගන්නා පියවර මොනවාදැයි නිරීක්ෂණය කර, ඒ අනුව ජනපති ධුරයට සුදුස්සා කවුදැයි තමන් ජනතාවට දැන්වීමට ක්‍රියා කරන බව සිය උපදෙස් ලේඛනයේ අග, රදගුරු කොමිසම සඳහන් කරයි.
Discussion about this post