වයස අවුරුදු හැට ඉක්මවා පසුගිය මාසයේ විශ්‍රාම ගැනීමට නියමිත වූ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට මැතිවරණ කොමිසමේ නියෝග පවා නොතකා සේවයට පැමිණෙන ලෙස දේශපාලනඥයකු උපදෙස් දී ඇතැයි එහි නිලධාරීහු අනාවරණය කළහ.
විශ්‍රාමලත් මෙම නිලධාරීන් දෙදෙනාම පසුගිය සතියේත් සේවයට පැමිණ ඇඟිලි සලකුණු පවා තැබූ බව ද අනාවරණය විය.
නිලධාරීන් දෙදෙනාව යළි සේවයේ තබා ගැනීමට දේශපාලන බලපෑම් මත සේවා දිගු ලබාදීමට හදිසියේම කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මැතිවරණ කොමිසමටද පැමිණිලි කර ඇත.
ඉඩම් අධ්‍යක්ෂවරයා ඔක්තෝබර් 29දාත්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඔක්තෝබර් 06දාත් විශ්‍රාම ගියහ. ඉඩම් අධ්‍යක්ෂවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙම තනතුරු සඳහා නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී දේශපාලන මැදිහත්වීම් අනුව පත්වීම් දී ඇතැයි වාර්තා වේ.
කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව ඉඩම් අධ්‍යක්ෂවරයා 2016 දී බඳවාගෙන ඇත්තේ එම ධුරයට අවශ්‍ය පශ්චාත් උපාධි සුදුසුකම ලබා නොතිබියදී බව හෙළිවී ඇත.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික සේවක සංගමයේ ඉහළ තනතුරක් හොබවන බැවින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවෙකු සේ සලකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට උසස් කර ඇත්තේ ආරක්ෂක නියාමක තනතුරේ සිට බව එහි සේවකයෝ පෙන්වා දෙති.
එසේ තිබියදී මෙම නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍ය බව හඟවමින් කැබිනට් මණ්ඩලය නොමග යන කැබිනට් පත්‍රිකාවක් මගින් සේවා දීර්ඝයක් ලබාදීමට යන බවද මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසම නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කර මැතිවරණ සමයේ ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද අනුගමනය කරන්නැයි දැනුම් දී ඇත. එසේ තිබියදීත් අදාළ නිලධාරීන්ව සේවයට කැඳවා ඇතැයි සේවකයන් පෙන්වා දෙයි.
Discussion about this post