ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබාදුන්නේ පසුගිය අඟහරුවාදා (29 වැනිදා) ය. ඒ අනුව මේ මස 1 වැනිදා එකී ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබූ බව වාර්තා වූ නමුත් මතු වූ විරෝධතා සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ඊට අත්සන් තැබීමෙන් වළකින ලෙස මුදල් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එසේ වුවත් මුදල් අමාත්‍යාංශය කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ජනාධිපතිවරණයට පෙර ගිවිසුමට අත්සන් කිරීමේ උත්සාහය අතහැර නොමැති බවය.
අමාත්‍ය මණ්ඩලය මෙම ගිවිසුම අත්සන් කිරීම අනුමත කර ඇත්තේ ඒ පිළිබඳ රට තුළ ප්‍රබල විරෝධයක් ගොඩනැගී තිබියදීය. ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධානම විරෝධය වන්නේ මේ හරහා මෙරට ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 12ක් අමෙරිකාව සතු වන බවය. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිත අතර මේ දුම්රිය මාර්ගය දෙපස ඉදිකෙරෙන වැට නිසා රට භෞතිකව දෙකඩ වීමක් සිදුවේ. ඒ අනුව ඇමෙරිකාව සතුවන භූමියට ලොව හොඳම ස්වාභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය, විශාල වගා බිම් ප්‍රමාණයක්, ජාතික උරුමයන් හා මෙරට ස්වාභාවික වනයන්ද අයත්ය.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතය. SOFA හා ACSA යන මෙම ගිවිසුම් මගින් ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුමෙන් ආයුධ සන්නද්ධව මෙරට රැඳී සිටීමේ අයිතිය හිමි වන බව තවත් බරපතළ චෝදනාවකි. කෙසේ වෙතත් ආණ්ඩුව මේ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි පිළිතුරක් දී නැත. ආණ්ඩුව කියන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් හිමිවන අතර ගිවිසුම නිසා විශේෂයෙන් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුවක් අත්කර ගත හැකි බවය.
ආණ්ඩුව කුමක් කීවත් මේ මොහොතේ ජයග්‍රහණය කර ඇත්තේ ඊට එරෙහි මතයය. ඊට ප්‍රධානම හේතුව නම් ආණ්ඩුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරන රහසිගත ස්භාවයය. ආරම්භයේ සිටම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කළේ ජනතාවට තොරතුරු වසං කරමිනි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් ආයතනයක් අගමැතිවරයාගේ නිල නිවාස වන අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක බව මීට කලකට පෙර අනාවරණය වූ අවස්ථාවේ ආණ්ඩුව කීවේ එය විපක්ෂයේ හිතලුවක් බවය.
ඉන් පසු ආණ්ඩුව ඇමෙරිකාව සමග මෙවැනි ගිවිසුමකට එළැඹෙන්නට යන බව විපක්ෂය රටට කියන තෙක් ආණ්ඩුව කිසිවක් කීවේ නැත. මේ ගිවිසුම නිසා රටට අනර්ථයක් සිදුවන බවට විපක්ෂය කරුණු ඉදිරිපත් කළත් ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට කරුණු ඉදිරිපත් කළේ නැත.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් සැකකරන්නට, ජනතාවට තවත් හේතුවක් තිබේ. එනම් එක්සත් ජාතික පක්ෂයේ ගිවිසුම් අත්සන් කිරීමේ ඉතිහාසයයි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1987 දී ඉන්දියාව සමග සාම ගිවිසුමක් අත්සන් කළේ කැබිනට් මණ්ඩලයට හෝ දැනුම් දීමකින් තොරවය. කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරන පළාත් සභා නමැති අදටත් අපට දිරවා ගත නොහැකි දේශපාලන උගුල ඇටවූයේ එම ගිවිසුමට අනුවය.
වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ 2002 වසරේ අගමැතිවරයා ලෙස කොටි නායකයා සමග ගිවිසුමකට අත්සන් කළේද එවකට සිටි ජනාධිපතිනිය මෙන්ම පාර්ලිමේන්තුවේද අනුමැතියකින් තොරවය. ඒ ගිවිසුමට පින් සිදුවන්නට කොටි සංවිධානයට යුදමය වශයෙන් ශක්තිමත් වන්නට අවස්ථාව උදා වූ බව බොහොමයක් දෙනාගේ මතයයි.
කෙසේ හෝ වේවා විපක්ෂය කියන අන්දමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යකෙකි.
එහෙත් ඔවුන් කියන තරමට ඒ යකා කළු නොවන්නටද පුළුවන. එසේම ආණ්ඩුව කියන තරමට එය හොඳ නොවන්නටද පුළුවන. ඒ ගැන දැන ගත හැක්කේ මේ පිළිබඳ කෙරෙන පුළුල් සංවාදයකිනි. එහෙත් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවන තෙක් එවැන්නකට ඉඩක් නොවීය.
මේ පිළිබඳ බරපතළ සැක සංකා උපදින අනෙක් කාරණය නම් රටේ පාලනය වෙනස් වීමට ආසන්න මොහොතක පාර්ලිමේන්තුව හෝ හරිහැටි නොදන්නා මේ ගිවිසුම අත්සන් කිරීමට යෑමය. නොවැම්බර් 16දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කවුරුන් ජය ගත්තද ඇරඹෙන්නේ නව පාලනයකි. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඒ පත්වන නව පාලනය මෙම ගිවිසුමෙන් බැඳ තබන්නටද? එහෙත් ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස නම් කියන්නේ තමන් ජනාධිපති වූ පසු රටට අහිත කර ගිවිසුම්වලට නොඑළැඹෙන බවය. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අනුමත කළ කැබිනට් මණ්ඩලයේ ඔහුද සාමාජිකයෙකි. ඉන් කියැවෙන්නේ මෙම ගිවිසුමෙන් රටට හානියක් නැතැයි ඔහුට සහතිකයක් ඇති බවද? එසේ නම් ඔහු ඒ බව ප්‍රසිද්ධියේ නොකියන්නේ මන්ද? කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා ගැන පවා උනන්දු සජිත් ප්‍රේමදාස මේ ගිවිසුම ගැන කියන්නේ කුමක්ද?
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවට මේ තරම් ඇති හදිසිය කුමක්ද? එය ඇමෙරිකාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීමක්ද? 2015 බලයට පැමිණි කණ්ඩායමට ඇමෙරිකාවේ ආශීර්වාදය හා සහයෝගය හිමිවූ බව ප්‍රකට කරුණකි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඒ වෙනුවෙන් වූ පොරොන්දුවක්ද? ලහිලහියේ ඒ පොරොන්දුව ඉටුකරන්නට යන්නේ නොවැම්බර් 16දා බලය ගිලිහෙතැයි යන සැකය නිසාද?
ඒ සැකය තීව්‍ර කරන්නේ මෙම ගිවිසුම අත්සන් කිරීමට බරපතළ උනන්දුවක් දක්වන්නේ මුදල් ඇමැති මංගල සමරවීර නිසාය. ඇමෙරිකාව සමග එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට 30/1 මානව හිමිකම් චෝදනාව ගෙන ආවේද මේ මංගල සමරවීරය.
Discussion about this post