අද බස් රථවල යන මගීන්ට ඇති ප්‍රධාන ගැටලුවක් නම් විවිධ ප්‍රමාණයේ, විවිධ වර්ණයේ සහ විවිධ ඝනකම්වලින් යුතු කාසි භාවිතයේ තිබීම නිසා ඒවා හඳුනා ගැනීමට ඇති අපහසුවයි. ඉතුරු මුදල් කාසියෙන් දුන් විට මගියාත්, කොන්දොස්තරත් අතර ‘කාසි ආරවුල්’ දැන් දැන් බස් රථවල එන්න එන්නම වැඩි වී තිබේ.
අප කුඩා කාලයේ එකතු කරන සිහිවටන මතක අතර රුපියලේ කාසියක් කෝච්චි පීල්ලකට තබා කෝච්චිය ගිය පසු එය චප්ප වී ඇති අයුරු ගැන සුන්දර මතකයන් අපට තිබේ. එහෙත් දැන් රුපියල කෝච්චියට තිබ්බොත් එය සොයා ගන්නට අන්වීක්ෂයක්ද අවශ්‍ය වනු නියතය. කාලයක් මෙරට තඹ ලෝහයෙන් නිමා වූ සතය හා සත දහය දක්නට විය. ලෝක වෙළෙඳපොළේ තඹ ගණන් ගිය විට අපේ අයියලා කළේ සත පහ හා දහය උණුකොට පිත්තර ඇණ හා සරනේරු තැනීමය. එකල තඹ සත 5, 10 ගෝනිවල දමාගෙන ගිය පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථා පුවත්පත් වාර්තා කරනු දැකගත හැකි විය.
ලංකාවේ කාසි හිඟයට ප්‍රධාන හේතුවක් වි ඇත්තේ එම කාසි, පඬුරු ලෙස ඉන්දියාවේ සිද්ධස්ථානවල පිංකැටවලට දැමීමය. වරක් එක් සිද්ධස්ථානයක පමණක් එකතු වී තිබුණු ලංකාවේ කාසිවල වටිනාකම කෝටි 20 කට වඩා වැඩි විය.
දැන් ඔබට ප්‍රශ්නයක් වනු ඇත්තේ අද සමාජය තුළ මහා ආරවුලක් වී ඇති අතට අහු නොවන මේ කාසි නිකුත් කළේ කවදාද යන පැනයයි. ජේ.ආර්. ජයවර්ධන මෙන්ම ආර්. ප්‍රේමදාස වැනි නායකයන් තමන් බලයේ සිටියදී රුපියලේ කාසි නිකුත් කළත් නෝට්ටුවලට අත තියන්නට ගියේ නැත. මහ බැංකුවේ මේ අලුත් කාසි නිකුතුව ගැන ඇති සටහනේ ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිල වශයෙන් එය පිළිගැන්වූ බවය. එය සමාන වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාද වන බවය. පසුව අපට වැටහී ගියේ මේ කාසි නිකුතුව සිදුවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කළ 2018 දින 52 ආණ්ඩුව යුගයේ බවය.
මෙම අලුත්, තුනී මෙන්ම විෂ්කම්භයෙන්ද අඩු කාසි, මහ බැංකුව නිකුත්කොට ඇත්තේ 2018.11.27 වැනිදාය. මහින්ද අගමැතිතුමාගේ අගමැති ධුරය නිල වශයෙන් අවලංගු වුවත් මේ අලුත් කාසි නම් අවලංගු වූයේ නැත.
මේ අලුත් කාසි නිකුත් කළ ප්‍රමාණය ගැන සොයද්දී අපට සොයාගත හැකි වූයේ මේ කාසි එකතුව සමග ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දෙවියකු සිටින රුපියල් දහයේ කාසි ලක්ෂ පනහක් නිකුත්කොට ඇති බවය. මේ කාසියේ පරිධියේ රටේ නම, ඉංග්‍රීසි, සිංහල හා දෙමළ බසින් දක්වා ඇත. කාසියේ සිටින්නේ හර්මිස් දෙවියන්ය. කාසිය නිකුත්කොට ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ 75 වන සංවත්සරයටය.
මේ කාසි ගැන රටේ ඇත්තන්ට නම් වගේ වගක් නැත්තේ ජනාධිපතිවරණය නිසා විය යුතුය.
සතයේ, දෙකේ, සත පහේ, සත දහයේ, සත විසිපහේ හා සත පනහේ කාසි සොයා ගැනීම දැන් ටිකක් අමාරු වුවත් ඒවා අවලංගු කොට නැත. මේ කාසිවල එදා බරත්, අද බරත් සංසන්දනයෙන් අපට තහවුරු කර ගත හැක්කේ රුපියලේ අගය කෙතරම් පල්ලම් බැස ඇති ද යන්නය. මහ බැංකුවෙන් මේ ගැන විමසූ විට ඔවුන් පවසා සිටියේ කාසිවල බර නිකුත් කළේ නැති බවය.
1998 දී ග්‍රෑම් 9 ක් බර වූ රුපියල් දහයේ අද බර ග්‍රෑම් 8.4 කි. 2005 ට පෙර ග්‍රෑම් 9.5 ක් වූ රුපියල් පහේ අද බර ග්‍රෑම් 7.63 කි. 2005 ට පෙර ග්‍රෑම් 8.25 ක් වූ රුපියල් දෙකේ අද බර ග්‍රෑම් 4.53 කි. 2005 ට පෙර ග්‍රෑම් 7.13 ක් වූ රුපියලේ බර අද ග්‍රෑම් 3.76 කි. ඔය මොනවා කිව්වත් අපට පැවසිය හැක්කේ ජේ.ආර්. යුගයේ මහාචාර්ය තිලක් රත්නකාර කිව්වාක් මෙන් රුපියලේ අගය අඩු වී නැත. රුපියලට තවමත් සත සියයක් තිබේ’ යන කියමන තවමත් බලාත්මක නිසාය.
Discussion about this post