උතුරේ යුද්ධය පැවැති වකවානුවේ ‘කටකතාවලට නොරැවටෙන්න’ යනුවෙන් ආණ්ඩුව ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර තිබිණ. ඒ යුගයේ කටකතා නිර්මාණය වූයේම ජනතාව බියගන්වන අන්දමිනි. කටකතා යනු සත්‍ය නොව සත්‍ය ලෙස කෙනෙකු පිළිගන්නට කැමති දේය. ඒ යුගයේ ජනතාව කල්පනා කළේම ඕනෑම තැනක – ඕනෑම මොහොතක බෝම්බයක් පිපිරිය හැකි බවය. ඕනෑම තැනක වෙඩි තැබීමක් සිදුවිය හැකි බවය. එවකට තිබූ ආණ්ඩුව කටයුතු කරමින් සිටියේ ජනතාවට එලෙස සිතන්නට සිදුවන අන්දමිනි. මේ නිසා ආණ්ඩුවට කටකතා පැතිරීම වැළැක්වීම අසීරු විය. ආණ්ඩුව කළේ – කටකතා බෝම්බවලටත් වඩා භයානක බව කියමින් ඒවා විශ්වාස නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමය.
කටකතාවලින් යම් සන්නිවේදනයක් සිදුවෙතත් එය විදග්ධ සන්නිවේදන විධික්‍රමයක් ලෙස සැලකෙන්නේ නැත. කටකතාවලට පදනම් වන්නේ සත්‍යම නොවන බැවිනි. කෙසේ වෙතත් කටකතා දේශපාලනයේදී තමන්ට අවශ්‍ය බොරු සමාජගත කිරීම සඳහා භාවිත කෙරෙන ජනප්‍රිය යටි බිම්ගත උපක්‍රමයකි.
මෙරට දේශපාලනයට මේ කටකතා සන්නිවේදනය හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ මංගල සමරවීර අමාත්‍යවරයාටය. ඇතැම් මැතිවරණයකදී ඔහු කටකතා පැතිරවීම සඳහාම කටකතා බළකායන් නිර්මාණය කළ බව ප්‍රසිද්ධ රහසකි. මේ කටකතා බළකායන්ගේ රාජකාරිය වූයේ බස්පොළේ, දුම්රියේ ආදී වශයෙන් ජනතාව එක්රැස් වන තැන්වලදී ඔවුන් වෙත භාරදී ඇති ‘කතා ප්‍රචාරය’ කිරීමය.
දැන් ඇත්තේ ‘ස්මාර්ට්’ ලෝකයක් නිසා මංගල සමරවීරට පෙර මෙන් කටකතා පැතිරවීමට බළකායන් පුහුණු කරන්නට අවශ්‍ය වන්නේ නැත. දැන් කළ යුතුව ඇත්තේ පතුරවන්නට අවශ්‍ය බොරුව හෝ ගසන්නට අවශ්‍ය මඩ ආකර්ෂණීය ලෙස නිර්මාණය කොට ෆේස්බුක් හෙවත් මුහුණු පොතට මුදාහැරීම පමණය. එසැණින් එය ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරට සංසරණය වේ.
කටකතා යනු නූගත් කමේද, නොදියුණු බවේද ලක්ෂණයක් යැයි කියන පිළිගැනීම නිසා කවුරු කවුරුත් කටකතා ගැන කතා කළේ හොර රහසේය. උගත් බුද්ධිමත් ජනතාව නම් තමන්ට අසන්නට ලැබෙන කටකතා යළි තව කෙනකුගේ කනේ තබන්නට ගියේද නැත.
එහෙත් ෆේස්බුක් හරහා සංසරණය වන කටකතා මේ සීමාවන් බිඳ දමා ඇත. ෆේස්බුක් හරහා වැඩි වශයෙන්ම අසත්‍ය – මඩ පැතිරවීමට සහය වන්නේ උගතුන් යැයි කියන, බුද්ධිමතුන් යැයි කියන – ප්‍රබුද්ධ යැයි කියන අයය. මැති ඇමැතිවරුන් වැනි නාමධාරීන් පවා මීට ඇතුළත්ය.
පුවත්පත, රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි මාධ්‍ය කිසියම් පුවතක් පළ කිරීමට පෙර අනුගමනය කළ යුතු පිළිවෙත් තිබේ. තමන්ට ලැබෙන පුවතක් පළ කිරීමට පෙර එහි නිරවද්‍යතාව තහවුරු කරගත යුතුය. කිසිවෙකුට අපහාසයක් සිදුවේද යන්න සොයා බැලිය යුතුය. නීතිමය බාධාවන් තිබේද – එසේම ජන සමාජය තුළ කැලඹීමක්, විශේෂයෙන් ජාති-ආගම් අතර අනවශ්‍ය ගැටුමකට හේතුවේද සොයා බැලිය යුතුය.
එහෙත් නව මාධ්‍ය නමැති ගාම්භීර විශේෂණයන් හඳුන්වන ෆේස්බුක් වැනි අන්තර්ජාල මාධ්‍යට මෙවැනි සීමා නැත. ඕනෑම ගොනෙකුට ඕනෑම දෙයක් එහි පළ කළ හැකිය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යැයි කියන්නේ එයටය.
මේ වල්බූරු නිදහස ප්‍රයෝජනයට ගන්නා දේශපාලකයන් ඔවුන් විසින් මිලදී ගනු ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යැයි කියන අමුතුම සත්ව කොට්ඨාසයක් හරහා තමන්ට අවශ්‍ය බොරුද, මඩද පමණක් නොව අසූචිද වපුරවමින් සිටිති. ඒ සැණින් එක බොත්තමක් ඔබා ඒවා සකල ලෝක ධාතුව පුරා බෙදාහරින්නට සැදී පැහැදී සිටින පිරිසක්ද සිටිති. සමාජ චින්තකයන් ලෙස එකිනෙකා විසින් පිටකසා ගන්නා මේ අය එපමණකින් නොනැවතී ඔවුන් පතුරුවා හරින මඩ හා පච ප්‍රචාරය නොකරන්නේ යැයි පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලිවලටද චෝදනා කරති.
අවසානයේ මේ ෆේස්බුක් කටකතාකරුවන්ගේ බොරු – නිවැරදි කරන්නට සිදුවන්නේද ජනමාධ්‍යවලටය. සජිත් ප්‍රේමදාස මහතාගේ සාමාන්‍ය පෙළ සහතිකය යැයි කියමින් ෆේස්බුක්හී සංසරණය වූ ව්‍යාජ සහතිකය එවැන්නකි. මේ කටකතාකරුවන් සමාජගත කරන්නට උත්සාහ කරන තවත් බොරුවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකුය යන්නය. එය සත්‍යයක් නොවන බව සනාථ වී ඇතත් ඔවුන් යළි යළිත් ඒ බොරුව පතුරවමින් සිටී. එසේම ඔහු නොවැම්බර් 17දා ඇමරිකාව බලා යන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ඇතැයි යනුවෙන් තවත් බොරුවක් ප්‍රචාරය කෙරෙමින් තිබේ.
මෙකී කාරණා බොරු බව සනාථ වන්නට වන්නට ෆේස්බුක් කටකතා කුලීකරුවන්ට වැඩ අධික වේ. ඒ ඔවුන් විසින් පැළ කරන්නට උත්සාහ කරන බොරු අතේ පත්තුවන විට තවත් බොරුවක් නිර්මාණය කරන්නට සිදුවෙන බැවිනි.
කෙසේ වෙතත් මේ ‘කටකතා ව්‍යාපෘතීන්’ දෙස බලා සිටින විට ප්‍රත්‍යක්ෂ වන කාරණයක් තිබේ. එනම් මේ බොරු පතුරුවන අය හා ඔවුන් මෙහෙයවන අය සමාජ දේශපාලන වශයෙන් කොතරම් නම් අස්ථාවර තත්ත්වයකට පත්ව සිටීද යන්නය. ඔවුන් කෙතරම් බියට පත්ව සිටීද යන්නය.
මේ පච ප්‍රචාරය කිරීමෙන් ඔවුන් කාට අපහාස කරන්නට උත්සාහ කළත් අවසානයේ විශාලම අපහාසය සිදුවන්නේ ජනතාවටය. මන්ද යත් ඔවුන් මේ හරහා පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ බොරුවලට රැවටෙන්නට තරම් ජනතාව මැට්ටන් යැයි සිතා සිටින බවකි. එහෙත් ජනතාව ඔවුන්ගේ පච පිළිගන්නා මැට්ටන් නොවන බව තේරුම් ගැනීම ඔවුන්ගේ මැටිකමය.
Discussion about this post