නව තාක්ෂණයේ දියුණුවත්, අසීමිතව මුදල් සංසරණය වීමත් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ තරගකාරීත්වය අතිශයින්ම ඉහළ නගිද්දී ක්‍රීඩාවේ ජීවගුණය සහ පැවැත්ම පිළිබඳ ගැටලු රැසක් වර්තමානයේ ලොව පුරා පැන නැගී ඇත. මෙවැනි ගැටලු සඳහා විසඳුමක් ලෙස බොහෝ රටවල අදාළ ක්‍රීඩාවේ බලධාරින් නවක ක්‍රීඩකයන් ඉලක්ක කරමින් විවිධ වැඩමුළු, අධ්‍යාපනික පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
ක්‍රීඩාවේ ජීවගුණය පවත්වා ගැනීමේදි අදාළ ක්‍රීඩාවට එක්වන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ පිළිබඳ අධ්‍යාපනික වැඩමුළු පැවැත්වීමේ වැදගත්කම අවබෝධ කරගත් බොහෝ රටවල්වල අවධානය යොමුවූ ප්‍රධානතම ක්‍රීඩාව වන්නේ මෝටර් රථ ධාවන ක්‍රීඩා ක්ෂේත්‍රයයි. අනතුරුදායක තත්ත්වය සහ වේගවත් බව සැළකිල්ලට ගැනීමේදි මේ ක්‍රීඩාව අවදානම් සහිත ක්‍රීඩාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
නිශ්චිත සංවිධානයකින් තොරව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමකින් තොරව ඇතැම් රටවල පැවැත්වෙන මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාතරග හේතුවෙන් වසරින් වසර මේ ක්‍රීඩාවේ සිදුවන අනතුරු සංඛ්‍යාව ද ඉහළ නගිමින් පවතින බව ඇතැම් වාර්තා මගින් පෙන්වා දී තිබේ.
මෙරට පැවැත්වෙන බොහෝ මෝටර්රථ හා යතුරුපැදි ධාවන තරග ද ඊට දෙවැනි නොවේ. වසර අවසානයේ දී සමස්ත ප්‍රසාද ලකුණු අනුව මෝටර් රථ ධාවන ශූරයා හෝ යතුරුපැදි ධාවන ශූරයා බවට පත්වීමේ අරමුණ ඇතිව මෙවැනි තරගවලදි ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩාවේ ජීවගුණය අබිබවායන අවස්ථා එමටය. ඒ අතරින් වැඩිම අවදානමක් පවතින්නේ මෝටර් රථ ක්‍රීඩාවේය.
එවැනි පසුබිමක් තුළ එම ක්‍රීඩාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අධ්‍යාපනික වැඩමුළු පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි මෙරට බොහෝ ප්‍රවීණ මෝටර් රථ හා යතුරුපැදි තරගකරුවන්ගේ අදහස වී තිබේ.
තරගාවලි පැවැත්වීමේ දී එහි අරමුණ මෙන්ම අදාළ ක්‍රීඩාවේ ප්‍රගතිය හා ජීවගුණය පිළිබඳවත් තරග සංවිධායකයන්ගේ අවධානය යොමු විය යුතුය. එවැනි තත්ත්වයක් මෙරට මෝටර් රථ මෙන්ම යතුරුපැදි ක්‍රීඩාවේ දක්නට නොලැබීම අතිශය කනගාටුදායක කරුණකි. එමගින් සිදුවන්නේ අදාළ ක්‍රීඩාවෙන් අනාගත තරු බවට පත්වීමට නියමිත ආධුනික තරගකරුවන්ට වැරැදි පූර්වාදර්ශ සැපැයීමකි.
මෑත කාලයේ මෙරට මෝටර් රථ තරගබිමේ බොහෝ තරගවලදී එකිනෙකා පරයා ඉදිරියට යාමේ අරමුණින් ක්‍රීඩාවේ ජීවගුණය බිඳ දමමින් නීතිවිරෝධී ක්‍රීඩා රටාවකට යොමුවන අවස්ථා බොහෝය. පෙරමුණ ගෙන සිටින තරගකරුවන් අබිබවා යාමේ නිසි ක්‍රමවේදය වෙනුවට ඔවුන් අනතුරකට ලක් කරමින් පෙරමුණ ගැනීමට බොහෝ තරගකරුවන් උත්සාහ දරනුයේ ක්‍රීඩාවට අදාළව එවැනි අධ්‍යාපනික මට්ටමක් ඔවුන්ට නොමැති බැවිනි. එවැනි අධ්‍යාපනික දැනුමක් තරගකරුවන්ට ලබාදීම තරග සංවිධායකයන්ගේ වගකීමය. ඒ සඳහා තරග සංවිධායකයන් දිරිගැන්වීම හෝ මග පෙන්වීම අදාළ ක්‍රීඩාවේ මව් සංගම්වල යුතුකම හා වගකීමය.
ක්‍රීඩාවේ ආරක්ෂාව (Motor Sport Safety) පිළිබඳ තරගකරුවන් දැනුවත් කිරීමට මෙවැනි අධ්‍යාපනික වැඩමුළු අතිශය වැදගත් සාධක වන අතර මෝටර් රථ ක්‍රීඩාවේ මව් සංගමය වන ජාත්‍යන්තර ඔටෝමොබයිල් සම්මේලනය (FIA) මෙවැනි වැඩමුළු පවත්වන්නේ වසර 2009 සිටය. එහෙත් එවැනි වැඩමුළු අදටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම විමතියට කරුණකි. මෝටර් රථ ක්‍රීඩාවේ ආරක්ෂක සංවර්ධන පදනම හා එක්ව එම සම්මේලනය රටවල් 54ක මෙම අධ්‍යාපනික වැඩමුළු ක්‍රියාත්මක කරමින් සිටී. එමගින් ලොව පුරා විවිධ රටවල තරගකරුවන් 9,000කට අධික පිරිසක් මේ වනවිට එවැනි අධ්‍යාපනික වැඩසටහන්වලට සහභාගි වී තිබේ.
මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එවැනි වැඩමුළු පවත්වමින් තරගකරුවන්ට අවශ්‍ය අධ්‍යාපනික පසුබිම සකස් කරදීම මෙරට තරග සංවිධායකවරුන්ගේ සහ අදාළ සංගම්වල වගකීමය.
Discussion about this post