මේ රටේ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට ඔසවා තබන්නේ ‘‘අවසන් චාන්ස් එකක්’’ වශයෙනි. ඡන්දයෙන් පසු ගෝඨාභය දිනවීමට ඡන්දය දුන් මේ රටේ මිනිස්සු තමන් දුන් ඡන්දය ගැන හීනියට සතුටු වන බව පෙනේ. හමුදා සෙබළකු ලෙස අවුරුදු 20 කුත්, ආරක්‍ෂක ලේකම් ලෙස අවුරුදු 10 කුත් කල්ගත කළ ගෝඨාභය, ජනාධිපති ගෝඨාභය බවට පත්වීමෙන් පසු හැඩකාර ගමනක් යමින් සිටී. එම ගමනේ හැඩය සෙබළ හැඩයකුත් නොවන, ආරක්‍ෂක ලේකම් හැඩයකුත් නොවන සුවිශේෂ හැඩයකි. ඔහු යහළුවන්ට උදව් කරන්නට පටන්ගෙන නැත. නෑදෑයන්ට සංග‍්‍රහ කිරීමට පටන්ගෙනත් නැත. ජනාධිපති බවට පත්වීමෙන් පසු ඔහු අදටත් නිහඬය. ඔහු සිටින බවක් ජනතාව දන්නේ වරින්වර ඔහු කරන බලගතු ජනතාවාදී වැඩ නිසාය.
ජනාධිපති ගෝඨාභය කළ පළමුවන සුපිරි වැඩය වූයේ කැබිනට් මණ්ඩලය 15 කට සීමා කිරීමය. මේ නිසා පළපුරුදු ඇමතිවරු රාජ්‍ය ඇමතිවරුන් බවට පත් වූහ. එහෙත් එය එම ඇමතිවරුන්ට ප‍්‍රශ්නයක් වූයේ නැත. ඒ බව දුමින්ද දිසානායක විසින් සංක්‍ෂිප්ත කරන ලද්දේ මෙසේය. අප ගෝඨාභය දිනවූයේ පුද්ගලික න්‍යායපත‍්‍ර පිණිස නොවේ. ඒ අනුව ‘ඇමතිකම’ රාජ්‍යද නැද්ද යන්න අපට ප‍්‍රශ්නයක් වන්නේ නැත. අවසන බලද්දී අප සියල්ලන්ම සතුටිනි.
ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව වැට් සහ වෙනත් බදු කිහිපයක් අඩු කිරීමෙන් ලොකු වැඩක් කළ බව මහජනතාවගේ මතයය. එමගින් ක්‍ෂණිකව කිසිවක් සිදුව නැතත් නුදුරු අනාගතයේදී කිසියම් හොඳ දෙයක් සිදුවනු ඇතැයි මිනිස්සු බලා සිටිති. මේ රටේ දුප්පත් මිනිසුන් මහත්සේ සතුටු කළ හැක්කේ බඩු මිල අඩු කිරීමෙනි. වැට් සහ වෙනත් බදු අඩු කිරීමෙන් එක පරිප්පු ඇටයක මිල තවමත් අඩුවී නැතත් බඩු මිල අඩු කිරීම යන වචනයෙන් ඔහු ඉමහත් සතුටට පත්වෙයි. දුප්පතා ජීවත් කළ හැකි ක‍්‍රම කිහිපයක් තිබේ. මුලින්ම ඔහුට බලාපොරොත්තු දිය හැකිය. එකී බලාපොරොත්තු ඔස්සේ ඔහු ටික කලක් ජීවත් වෙයි. එවිට දේශපාලනඥයෝ තවත් බලාපොරොත්තු ඉදිරිපත් කරති. මේ ආකාරයෙන් බලාපොරොත්තු සහ ඔක්සිජන් යන සාධක දෙක මත දුප්පතා පස් අවුරුද්දක් ජීවත් කරවිය හැකිය. එම පස් අවුරුද්ද අවසානයේදී දුප්පතා විසින් තමනට බලාපොරොත්තු දුන් දේශපාලනඥයාට කෙළවනු ලැබේ. එසේ කෙළැවීම ඡන්දය පරාද වීම යනුවෙන් හැඳින්විය හැකිය.
වැලි ප‍්‍රවාහනය සඳහා පර්මිට් යොදා ගැනීමේ ක‍්‍රමය මේ ආණ්ඩුව විසින් අවලංගු කරන ලදී. මේ අනුව දැන් කාටත් පර්මිට් නැතිව වැලි ප‍්‍රවාහනය කළ හැකිය. මේ ක‍්‍රියාවේ විභවය නොදත් හිඟන දේශපාලන ඔටුවන් කිහිප දෙනෙක්, එමගින් පරිසර හානියක් හටගත්තැයි කෑගසන්නට වූහ. වැලි පර්මිට් ක‍්‍රමය නැවැත්විය යුත්තේ පොලිසිය වැලි ලොරි කාරයන්ගෙන් පගා ගසන නිසාය. එක වැලි ලෝඞ් එකකට රු. 6000 ක පගාවක් පොලිසිය අය කරයි. මේ නිසා වැලි මිල ඉහළ නගී. පරිසර හානිය සිදුවන්නේ වැලි හෑරීමේ පර්මිට් ක‍්‍රමය නැවැත්වුවොත් බව දේශපාලන ඔටුවෝ නොදනිති. ආණ්ඩුව, එම ක‍්‍රමය අවලංගු කර නැත.
ගෝඨාභය සිය දේශපාලන ගමන යන හැඩය අප තුළ දනවන්නේ සතුටකි. ඒ හැඩය එසේම පවතීවා.
Discussion about this post