ඉන්දියාවේ ඉහළම ජනතා සම්මාන අතුරෙන් එකක් ලෙස සැලකෙන පද්ම ශ්‍රී සම්මානය දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක යන මහත්මීන්ට ලබාදීමට ඉන්දීය රජය තීරණය කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සිදුකරන අතර එය සෑම වසරකම ඉන්දියානු අගමැතිවරයා විසින් පිහිටුවන ලද පද්ම සම්මාන කමිටුව විසින් කරනු ලබන නිර්දේශ මත ප්‍රදානය කෙරේ.
ශ්‍රී ලාංකේය නර්තන කලාව තුළ කැපී පෙනෙන තරු සලකුණක් වූ ආචාර්ය වජිරා චිත්‍රසේනයන් මේ වන විට 87 වැනි වියේ පසුවන අතර චිත්‍රසේන – වජිරා නර්තන පදනමේ ප්‍රධානියා මෙන්ම විදුහල්පතිනිය ලෙසද කටයුතු කරයි. ඉන්දීය ශ්‍රී ලාංකේය නර්තන කලාව මිශ්‍ර කිරීම තුළින් සුවිශේෂී නර්තන සම්ප්‍රදායන් හඳුන්වා දුන් ඇය ලංකාවේද ඉහළම සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.
දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක 1943 ඉන්දියාවේදී උපත ලැබූ අතර ලක්නව් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූවාය. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරියද වූ අතර ලාංකේය අධ්‍යාපන ආයතනවල හින්දි භාෂාව හඳුන්වාදීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇප කැප වූවාය. මීට පෙරද ගෞරවනීය සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය 2019 සැප්තැම්බර් මස කොළඹදී සිය ජීවන ගමනෙන් සමුගත්තාය.
ඉන්දියානු රජය මීට පෙර දිවංගත පණ්ඩිත් අමරදේවයන්ද පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුවේය.
Discussion about this post