කිසියම් දෙයක් ඇඟට, බඩට, හිතට, රටට නොදිරවන විට ඒ දේ අපත්‍ය දෙයක් ලෙස අපි හඳුන්වමු. අපතයෝ යනු අපත්‍යයෝ යන සංස්කෘත පදය සිංහලට මොඩිෆයි වීමකි. සෑම ජන සමාජයක්ම අපතයන්ගෙන් මෙන්ම කාමාතුරයින්ගෙන් ගහණය. හිරගෙවල් ආශ‍්‍රයේදී අපත භාවය සහ කාමාතුර භාවය උත්සන්න වූ විට අනුන්ගේ ගැහැනුන්ට කෙළැවී ඒ පවුල් කඩාකප්පල්ව දු දරුවෝ මහ පාරට වැටෙන්නාහ. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ගැහැනුන් බිලී බාන ක‍්‍රමය මෙසේය.
රිමාන්ඞ් සිරගෙදරක හෝ වරදකරුවන් සිර දඬුවම් ගතකරන බන්ධනාගාරයක හෝ ”විසිට්’’ කිරීම යනුවෙන් ක‍්‍රියාවලියක් තිබේ. මේ ක‍්‍රියාවලිය යටතේ සිරකරුවන් හෝ රිමාන්ඞ් රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුලේ අයට මාසික අවස්ථාවක් ලැබේ. ලංකාවේ බන්ධනාගාරවල අවම වශයෙන් පිරිමි සිරකරුවෝ තිස්දහසක් වෙති. ඒ තිස්දහසෙන් අවම වශයෙන් විසිදහසක් පමණ පවුල්කාරයෝය.
මේ විසිදහසෙන් අවම වශයෙන් දස දහසකටවත් තරුණ බිරින්දෑවරු සිටිති. මේ තරුණ බිරින්දෑවරු දස දහසෙන් අවම වශයෙන් පන්දහසක්වත් කපටි පිරිමින්ට රැවටීමේ සහජ ගුණය ඇති අය වෙති. මේ කතාවේ ශෝකජනක තැන පටන් ගන්නේ මෙතැන් සිටය. මෙවැනි අසරණ ගැහැනු එක බැල්මෙන් හඳුනාගැනීමේ ඉව ඇති පුරුෂයෝ මේ පෘථිවි තලය මත ඉමහත්ය. එවැනි පුරුෂයකුට බන්ධනාගාරයේ ජේලර්කමක් ලැබුණොත් සිදුවන විනාශයෙහි නිමක් නැත. මෙවැනි තරුණ බිරියන් සැමියන් බැලීම පිණිස පෝළිමේ එන විට පෙර කී වර්ගයේ ජේලර් පුරුෂයෝ ඔවුන්ට උපකාර කිරීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙති.
හිරගෙදර සිටින තම සැමියා වෙනුවෙන් කිසියම් දෙයක් කිරීමට මුලදී ඒ බිරියෝ එකඟය. දෙවනුව ඒ සැමියන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඒ බිරියෝ එකඟය. ඒ අනුව තුට්ටු දෙකේ හෝටල් කාමර තුළදී මේ අසරණ ගැහැනු තමන්ට කිසිදු පේ‍්‍රමයක් නොදක්වන තමන්ගේ ඇඟට පමණක් ආසා කරන කාමාතුර ජේලර් පුරුෂයන් අතින් මාස් පතා කෙළෙසෙති. මෙම ගැහැනිය ගැබ්ගත් කල්හි ඇයට ඒ ගැබ ප‍්‍රදානය කළ පුරුෂයා ආගිය අතක් නැත.
තවත් සමහර ජේලර් මහත්තවරු සිරකරුවන්ගේ ගෙවල්වලට කෙළින්ම යති. හිරකරුවන්ට අවශ්‍ය සල්ලි, හෙරොයින්, ගංජා යන සියලූ දේ හිරගෙදරට ගෙනවුත් දීමට ඒ ජේලර්වරු සූදානම්ය. ඒ වෙනුවෙන් මුදලූත්, සිරුරත් යන දෙකම ජේලර්ලාට දෙන්නට සිරකරුවන්ගේ බිරියන්ට සිදුවන්නේය. මේ සමාජ ප‍්‍රශ්නය හරියාකාරව සාකච්ඡා කෙරී නැත. යම් තරමකට සාකච්ඡා කෙරුණත් නවත්වන්නට හැකියාවක්ද නැත. නැවැත්වීමට නම් යුරෝපා රටවල තිබෙන ආකාරයේ සංවිධානාත්මක බන්ධනාගාර ක‍්‍රමයක් මෙරටට හඳුන්වාදිය යුතුව තිබේ. හිරගෙදර වැසිකිළිවලට දොරක්වත් හයිකර ගැනීමට බැරි රටේ බන්ධනාගාර පුනරුත්ථාපන සංකල්ප ක‍්‍රියාත්මක කිරීම කඩදාසිවලට පමණක් සීමා වූවකි. මේ සංකල්පයෙන් හොඳ ටෙලි චිත‍්‍රපටයක් සෑදිය හැක.
හෙරොයින් යනු මෙරට හිරගෙවල්වලත් ජන සමාජයේත් ප‍්‍රමුඛ සතුරකු බවට පත්ව ඇති මත් ද්‍රව්‍යයකි. පොලිස් අත්අඩංගුවට පත්ව සිරගෙවල් තුළත් රිමාන්ඞ් බන්ධනාගාර තුළත් සිටින කුඩු මුදලාලිලා කිසිදු ආකාරයකින් සිය ව්‍යාපාර නවත්වන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ සිම් කාඞ් පතකුත් සරල දුරකථනයකුත් පමණි. ඒ හරහා ඔවුහු ස්වකීය ජාවාරම්ද, සතුරන් විනාශ කිරීමද සිදු කරති. හිරේ ඉන්න වෙලේ සුදාට වේවා, කන්ජිපානි ඉම්රාන්ට වේවා, පොට්ට නවුෆර්ට වේවා බිස්නස් පටන් ගැනීමට අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් පමණි.
මේ අපතයන්, කාමාතුරයන් සහ විපත්තිදායකයන් හොඳින් හෝ නරකින් නැති කිරීම ආණ්ඩුවේ යුතුකමය. දැනට ජීවත්ව සිටින තරුණ හා නව යොවුන් පරම්පරාවේ යහ සාධනය උදෙසා සමාජ ද්‍රෝහීන් තුරන් කිරීමට වෙඩි කිහිපයක් පත්තු කිරීම ප‍්‍රාණඝාත අකුලසයක් වුවද කිසියම් භවයකදී පලදෙන පිනක් ලෙස සැලකීමට අප කැමැත්තාහ.
Discussion about this post