රාජ්‍ය අංශයේ සිල්ලරට අලෙවි කරන භාණ්ඩ සහ නිෂ්පාදන එකම වහලක් යටදී මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාකරමින් ˝ ‘රජ වාසල’ ˝ පළමු ශාඛාව මෙම වසර අවසන් වීමට පෙර විවෘත කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ පැවැති වෙළෙඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පැවසීය.
එමෙන්ම ˝කිවු ෂොප්˝ (Q-Shop) නමින් හැඳින්වෙන කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළෙඳසල්ද ලංකාව පුරා ඇති කිරීමේ ව්‍යාපෘතිය සුවිශේෂී තැනක පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අඩි 40 පමණ කන්ටේනර පෙට්ටියක් තුළ කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළඳසල් ˝කිවු ෂොප්˝ (Q-Shop) නමින් ලංකාව පුරා ඉදිකර තරුණ තරුණියන්ට එතුළින් තමන්ගේම ව්‍යාපාරයක් මගින් නැගී සිටීමට අවස්ථාව උදාකර දීම එම ව්‍යාපෘතියේ අරමුණය. මෙසේ කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළෙඳසල් සැකසීමට හැකි අයගෙන් ලංකාවෙන්ම ටෙන්ඩර් කැඳවීමට බලාපොරොත්තු වන බවද කොළඹ නගරය තුළ මේ වන විටත් ˝කිවු ෂොප්˝ 20ක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
‘රජ වාසල’ ˝ පළමු ශාඛාව නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ භාවිතයට නොගැනුණ ගොඩනැගිල්ලක මේ වන විටත් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සම්බන්ධ වී ස්ථාපනය කෙරෙමින් පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය. එසේම ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදන, කජු සංස්ථාවේ නිෂ්පාදන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදන, ධීවර සංස්ථාවේ නිෂ්පාදන, රාජ්‍ය ග්‍රන්ථ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන ආදී සියලු රාජ්‍ය භාණ්ඩ සහ නිෂ්පාදන එකම වහලක් යටදී ˝ රජ වාසල ˝ තුළින් ඉදිරියේදී ජනතාවට සහනදායී මිලට ලබාගත හැකි බව ද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එසේම මෙවැනි ශාඛා 25 ක් ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු ආරම්භ කරන බව ද හෙතෙම අනාවරණය කළේය.
Discussion about this post