එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මේ රටේ පවතිනවාද යන්න හඳුනා ගැනීමට අවශ්‍ය එකම ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නැතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙන්නේ නව ප්‍රභේද ඇතිවීම වයිරසයන්ගේ සාමාන්‍ය තත්ත්වයක් වුවද, වසංගතය පාලනය කිරීමේදී එය බරපතළ අවධානයට ලක්විය යුතු කරුණක් බවය. මෙකී ජාන අක්‍රමිකතා විශ්ලේෂක යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අවස්ථා තුනකදී උත්සාහ කර ඇති නමුත්, එය කිසියම් පාර්ශ්වයක බලපෑම මත අත්හිටුවීමක් සිදුවී ඇති බවද හෙතෙම කීවේය.
එමෙන්ම කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවධියේදී ආසියානු සංවර්ධන බැංකුව මගින් එම යන්ත්‍රයක් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ ස්ථාපිත කිරීමට අදාළ සියලු කටයුතු සිදුකර තිබුණද සෞඛ්‍ය බලධාරීන් එය නොසලකා හැර ඇත.
එංගලන්තයේ කොවිඩ් නව ප්‍රභේද සෙවීමට පෙර, ලංකාවේ දැනටමත් නව ප්‍රභේද තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය බව ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව එකම එක යන්ත්‍රයක් පවා නොමැතිවීම බරපතළ කරුණක් බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
Discussion about this post