ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ලබන 2021 වසරේ මාර්තු මාසයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් අපූරු සිහිවටනයක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ආයතනයක් කටයුතු කර තිබේ.
එම සමරුවේ රිදියෙන් කරන ලද මිලි මීටර් 50ක විශ්කම්භයකින් යුත් කාසි 17ක් වේ. එහි එක් එක් කාසියෙන් තරගාවලිය සඳහා එක්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් 14 දෙනා, පුහුණුකරු ඩේව් වට්මෝර්, කළමනාකරු දුලීප් මෙන්ඩිස් සහ භෞත චිකිත්සක ඇලෙක්ස් කවුන්ටොරිස්ගේ මුහුණු නිරූපණය කොට ඇත. එම කාසි බහාලුමෙහි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුගේ සහ දුලීප් මෙන්ඩිස්ගේ අත්සන් සහ විල්ස් කුසලානයේ ඡායාරූපයක්ද ඇතුළත් වේ. ඡායාරූපයේ විල්ස් කුසලානයට වම් පසින් 1996 අවසන් මහා තරගයේ සම්පූර්ණ ලකුණු පුවරුවක්ද සටහන් වීම කැපී පෙනෙන කාරණයක් විය.
අදාළ ආයතනය විසින් මෙවැනි සමරු 2996ක් නිර්මාණය කර තිබේ. ඉන් සමරු 1996ක් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා වෙන්කර තිබෙන්නේ ලෝක කුසලාන දිනූ 1996 වසර නිරූපණය කිරීම සඳහාය. සෙසු සමරු විදෙස් රටවල අලෙවිය සඳහා යොමුකර තිබේ. එහි එක් සමරුවක් ඇමරිකානු ඩොලර් 496ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 94000ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අතුරින් මෙම සමරුව පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන අසංක ගුරුසිංහ වෙත ඉකුත් නොවැම්බර් අග සතියේ හිමිව තිබිණි. ලංකාවේ වෙසෙන සෙසු ක්‍රීඩකයන් හටද, අදාළ සමරු ලබාදීමට කටයුතු යොදා තිබෙන අතර රොෂාන් මහානාම සහ චමින්ද වාස් අදාළ සමරු තමන්ට හිමිවූ බව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබුණේය.
Discussion about this post