පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකාවේ පූර්ණ සහාය ලබාදෙන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. 2019 වර්ෂයේ එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකානු ජාතිකයින් 5 දෙනකු ද මරුමුවට පත්වී ඇත.
ප්‍රහාරයට සම්බන්ධ බවට ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට එරෙහිව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 8 වැනිදා කැලිපෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
අයි.එස්.අයි. එස්. සංවිධානය වෙත භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිෆ්ලාන් සහ අහමඩ් මිල්හාන් හයිදු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම සැකකරුවෝ තිදෙනා මේ වන විට රැඳවුම් නියෝග මත මෙරට ආරක්ෂක අංශ භාරයේ පසුවෙති.
මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ මෙම සැකකරුවන් තිදෙනා ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. (ISIS) යනුවෙන් හඳුන්වා ගත් පිරිසක් බවය. 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු දින ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීම මත ඇමරිකාව මෙරට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙත විමර්ශනාත්මක සහාය ලබාදී ඇත.
මෙම ත්‍රස්තවාදීන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඇමරිකාව අගය කරන බවත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් මෙම අපරාධය සඳහා වගවන බවට සහතික කර ගැනීමට ශ්‍රී ලංකාව දරන වෑයමට පූර්ණ සහාය ඉදිරියටත් ලබා දෙන බවත් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Discussion about this post