නීතිඥවරුන් 150 දෙනකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. අධිකරණ ඇමැති අලි සබ්රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම බඳවා ගැනීම් ඉදිරියේදී කිරීමට නියමිතය.
පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහජනතාවට නීතිමය වශයෙන් ලබාදෙන සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස මෙලෙස බඳවා ගන්නා නීතිඥවරුන් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි සේවයට අනුයුක්ත කිරීමට ද නියමිතය.
ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම නීතිඥවරුන් 150 පොලිස් සේවයට බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාව අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාවද පවතියි.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී පවත්වා ඇත. එම සාකච්ඡාවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Discussion about this post