රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම පර්සවේරන්ස් (Perseverance)රෝවරය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි. එමඟින් ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි. අඟහරු මත සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයට යානය ගොඩබස්වා ඇත.එය අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධගෝලයේ පිහිටා ඇත.
ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් රෝද හයකින් යුත් මෙම රොබෝ යානය මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ඇත. අඟහරුගේ වායුගෝලය වෙත පැයට කිලෝමීටර 19,000ක වේගයෙන් ඇතුළු වීමට පෙර, මාස හතක් පුරා කිලෝමීටර් මිලියන 472ක දුරක් අභ්‍යවකාශය හරහා මෙම යානය මෙම අඟහරු මෙහෙයුම සඳහා පැමිණියේය.
කැමරා 20ක්, මයික්‍රොෆෝන 2ක්, ඩ්‍රෝන යානයක් මේ මෙහෙයුමට අන්තර්ගත කර තිබේ. පෘථිවියෙන් එපිට ග්‍රහලොවකදී පළමු වරට ඩ්‍රෝන යානයක් පියාසර කරවීම, අඟහරු ග්‍රහලොවෙහි දී පළමුවරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමෙහි විශේෂ ක්‍රියාකාරකම් අතර වේ.
එමෙන්ම රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් අරමුණක්.
Discussion about this post