සංචාරය ප්‍රිය කරන්නන් මේ වන විට තම සංචාරයන්හි යෙදෙන්නේ ඔවුන්ගේ රටවල් තුළම හෝ එසේ නැතිනම් වෙනත් විදේශ රටවලය. නමුත් වැඩි කල් නොගොස් තවත් සංචාරක ගමනාන්තයක් ඔවුන් හමුවේ විවර වීමට නියමිතව තිබේ. එනම් අභ්‍යවකාශයයි. අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය (Space Tourism) ඉදිරියේදී ඉතා ලාභදායක ව්‍යාපාරයක් බවට පත්වනු ඇති බවට මේ වන විට අනාවැකි පළවෙමින් තිබේ.
මීට අදාළ තවත් අපූරු පුවතක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබිණි. එනම් අභ්‍යවකාශයේ ඉදි වීමට නියමිත අපූරු සංචාරක හෝටලයක් පිළිබඳවය. ලෝකයේ පළමු අභ්‍යවකාශ හෝටලය වනු ඇති බව පැවසෙන මෙහි ඉදි කිරීම් කටයුතු 2025 වසරේ ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ. 2027 වසරේ එය සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීම එහි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුවයි.
මෙම හෝටලය හැඳින්වෙන්නේ ‘වෝයේජර් ස්ටේෂන්’(Voyager Station) යන නමිනි. එය ඉදි කරනු ලබන්නේ Orbital Assembly Corporation නමැති ආයතනයක් විසිනි. සංචාරකයන් 400 දෙනෙකුට නවාතැන් ගැනීමට හැකි වන ආකාරයෙන් ඉදි වන මෙය අවන්හල්, සිනමාශාලා, ස්පා, පුස්තකාල, ක්‍රීඩාගාර, ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන ආදී බොහෝ පහසුකම්වලින්ද සමන්විත වනු ඇත. සාමාන්‍යයෙන් සුඛෝපභෝගී මගී නෞකාවල ගමන් කරන සංචාරකයන්ට අත්විඳින්නට ලැබෙන පහසුකම්වලට සමාන පහසුකම් මෙම අභ්‍යකාශ හෝටලයේදීද අත්විඳින්නට හැකි වනු ඇතැයි සඳහන් වේ. නමුත් මෙහි නවාතැන් ගන්නා සංචාරකයකුට එහි කවුළු තුළින් දැක ගැනීමට ලැබෙන විශ්වයේ දර්ශනය මිහිමත කිසිදු ස්ථානයකදී දකින්නට ලැබෙන්නක් නොවේ. මෙම හෝටලය තුළ ගුරුත්වාකර්ෂණ බලය අඩු මට්ටමක පවතින නිසා එහි ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම්වල යෙදීමද අමුතුම අත්දැකීමක් බවට පත් වනු ඇත.
Discussion about this post