පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද ‘කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සම් පහළොවක් ගොනු කර තිබේ.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් හා ලේකම් රජීව් අමරසූරිය, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ, තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති කමල් රේණුක පෙරේරා, රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා රජය සහ චීනයේ චයිනා හාබර් හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිකෙරෙන කොළඹ වරාය නව නගර (පෝට්සිටි) ව්‍යාපෘතිය පරිපාලනය සඳහා වූ එකී පනත් කෙටුම්පත රටේ නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය යුතු බව තීන්දු කරන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීත්වයට හානිවන රෙගුලාසි යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත් එම පෙත්සම් මගින් කියා සිටී.
Discussion about this post