මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද (25) උදෑසන 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, එහිදී ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින්ට, වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සහ යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ ලබා දී තිබේ.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අදාළ නිර්දේශ ඊයේ (24) පළාත් පාලන අමාත්‍යාංශය වෙත යොමු කළ බවයි.
මැතිවරණ කොමිසම නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින්, ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
පළාත් පාලන මැතිවරණය අවස්ථා කිහිපයකදී කල් දැමීමට සිදු වූ අතර මේ වනවිට මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඒ හේතුවෙන් ඊට නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින් ගැටලුකාරී තත්ත්වයකට මුහුණු දුන් අතර ඒ පිළිබඳ සලකා මෙම තීරණයට එළැඹී බව පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
Discussion about this post